පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය මගින් පැවැත්වූ පළාත් පාලනය පිළිබඳ ඉංජිනේරු ඩිප්ලෝමාව හා පළාත් පාලනය හා ප්‍රාදේශීය සංවර්ධනය පිලිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය 2018.10.18 වන දින පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි. 
මෙහිදී 2018 වර්ෂයේ පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථයින් 87 දෙනෙකු සදහා ඩිප්ලෝමා සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සිදුවිය.

සහතික හා සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඩිප්ලෝමාධාරීන් හා පැමිණ සිටි පිරිස ඇමතු අමාත්‍යවරයා,
"රජයේ සේවකයින්ගේ දැනුම වැඩි කරලා ඒ දැනුම පළාත් පාලන ආයතන තුලට ගෙනියන්න කටයුතු කරලා තිබෙනවා. ගණකාධිකරණය, පරිපාලනය වැනි නොයෙක් දේවල් පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය තුලින් පළාත් පාලන ආයතනවලට ඇතුලත් කලා. ඒ තුලින් දැන් අපිට සාර්ථක ප්‍රතිඵල ලැබිලා තිබෙනවා.
මම බලාපොරොත්තු වෙනවා මේ ඩිප්ලෝමාවෙන් පසුව උපාධිය දක්වා ඔබ සැමගේ දැනුම වැඩි කරන්න. විශ්ව විද්‍යාල සමග සාකච්ඡා කරලා පළාත් පාළනය සම්බන්ධව උපාධිධාරියෙක් වෙන්න යම් විශේෂ වැඩසටහනක් දියත් කරන්න මම කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනය තමයි ජනතාව උපතේ සිට මරණය දක්වා හැමදාම ගණුදෙනු කරන ආයතනය. ඒ ආයතනය ශක්තිමත් වුණේ නැත්නම් මම හිතනවා මේ රටට ඉදිරි ගමනක් නැහැ කියලා. සැබෑ සංවර්ධනය ඇති කිරීමට පළාත් පාලන ආයතනවලට තව බලය ලබා දිය යුතුයි. ජනතාවට ගමේදීම තමන්ගේ ප්‍රශ්ණවලට උත්තර ලබා ගැනීමේ හැකියාව ඒ තුලින් ලැබෙනවා.
අද දින ඩිප්ලෝමා සහතික ලබන සියළුදෙනාට මම සුභ පතනවා. මේ ඉගෙනගත් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න. ඒ තුලින් පළාත් පාලන ආයතන ශක්තිමත්ව ගොඩනගලා රට සංවර්ධන මාර්ගය කරා ගෙන යන්න. ඒ ශක්තිය ඔබලාට තිබෙනවා."

එහිදී පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන ආයතනවල සේවය කිරීමේ දී අභියෝග රැසකට මුහුණ දිමට සිදු වන බවයි. සෘජුවම විධායක බලය පාවිච්චි කරන දේශපාලඥයින් සමග සේවය කිරීම මෙම අභියෝග වලට හේතුව බව පෙන්වා දෙන ලදි. පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය මේ වසර 3 ක කාලය තුල ගුණාත්මක වෙනස්කම් කිහිපයක් කරමින් පැමිණෙන අභියෝග සමග සේවය කිරීමට අවශ්‍ය වට පිටාව ගොඩනගා ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදි.

මෙම අවස්ථාවට මහාවංශ සම්පාදන කමිටුවේ සභාපති මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය, ජයවර්ධනපුර කළමණාකරණ පීඨාධීපති මහාචාර්‍ය අනුර කුමාර මහතා, උපකුලපති මහාචාර්‍ය සම්පත් අමරතුංග මහතා, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා, පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ සුජීව සමරවීර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

     

Dip 6 Dip 3
Dip 4 Dip 2
   

 

මහජන සේවය සඳහා කැපවූ මහජන නියෝජිතයෙකුගෙන් අපේක්ෂිත මෙහෙවර ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත ලගා කර දීමේ අරමුණින් මෙම අමාත්‍යාංශය විසින් පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවෙන් පළාත් සභාවන්ගේද එකගතාවය අනුව සකස් කරන ලද ආචාර ධර්ම පද්ධතියට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා වයඹ පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටක එකගතාවය හිමිවී ඇති අතර, ඒ අනුව එම පළාත් සභාවල ඉදිරියේදී එකී ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක වනු ඇත. මෙරට පාලන තන්ත්‍රයේ දෙවන ස්ථරය ලෙස සැලකෙන පළාත් සභා වල මන්ත්‍රීවරයෙකුගෙන් සිදුවිය යුතු මහජන සේවය යථා පරිදි ඉටු කිරීම සඳහා ඔවුන්ට මග පෙන්වනු ලබන මූලික ආචාර ධර්ම සමූහයකින් මෙම ආචාර ධර්ම පද්ධතිය පෝෂණය වී ඇත.

 

මහනුවර නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගර සභාව මගින් කටුකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් නවයකින් යුත් රථගාල සහිත වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සදහා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය හා සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 1000ක සහන ණය මුදලක් ලබා දීමට නියමිතය.

ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණී විජේවික්‍රම මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

දේශීය ණය හා සංවර්ධන අරමුදලේ සභාපති අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහනුවර නගරාධිපති කේසර ඩී සේනානායක යන මහත්වරු මෙම ගිවිසුම අත්සන් කළහ.

150,000 පමණ නාගරික ජනගහනයක්  හා දිනකට ලක්ෂ 06ක් පමණ දෙස් විදෙස් සංචාරකයින්  පැමිණෙන මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා  මහනුවර කටුකැලේ ප්‍රදේශයේ  මෙම රථගාල සහිත වෙළද සංකීර්ණය ඉදි කෙරේ.

වසර 100ක් පැරණි මූල්‍ය ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලින්  ලබා දෙන විශාලතම ණය මුදල වන මෙම ණය මුදල වසර 05ක සහන ණය වාරික මගින් ගෙවීමට නියමිත අතර මෙම වෙළද සංකීර්ණයයේ වැඩ කටයුතු වසර දෙකකින් නිම කිරීමට නියමිතය.

08.06.2018 08.06.18

මැද කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ෆයිසර් මුස්තෆා පදනම එක්ව සංවිධානය කළ මැද කොළඹ බල ප්‍රදේශයේ ඇති දහම් පාසැල්වල ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ  ගුරු පුහුණු වැඩසටහනක් ගරු පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ  මග පෙන්වීම යටතේ  පසුගියදා කොළඹ 14, ශ්‍රී සෝමානන්ද විහාරස්ථානයේ දී පැවැත්විනි. එහි දී දහම් පාසැල්වල ගුරුවරුන් හට සහතිකපත්‍ර ප්‍රධානයෙන් අනතුරුව දහම් පැසැල් ගුරුවරුන් හා සහභාගී වූ පිරිස අමතූ  අමාත්‍යවරයා,

“මේ රටේ සංස්කෘතිය ඉදිරිපරම්පරාවට ආරක්ෂා කිරීමට දහම් අධ්‍යාපනය අවශ්‍යයි. අද අපි දකිනවා දෙමව්පියන් ආගම ධර්මය අමතක කරලා තමන්ගෙ දරුවන්ට අධ්‍යානය ගැන පමණක් උනන්දුවක් දැක්වීම, මා හැමදාම කියන ආකාරයට මිනිසා හා තිරිසනා අතර ඇති පරම වෙනස වන්නේ දහම හෝ අධ්‍යාපනයයි. යම් අයෙකුට බලාපොරොත්තුවක් ඇති කිරීමට හෝ තමන්ගේ ජීවිතයේ යම් පලයක් ඇති කිරීමට ධර්මය අවශ්‍ය  වන බව සදහන් කිරීමට මම කැමතියි.

පසුගිය කාලේ සමහර ආණ්ඩු නීති ගෙන ඒමට හැදුවා කැසිනෝ නීතිගත කරන්නට. එහි ප්‍රතිපලයක් වූයේ එම ආණ්ඩුව වැටුණු එක. හේතුව අපේ රට ආර්ථිකයට වඩා දහමෙන් සංස්කෘතියෙන්  පෝෂණය වූ රටක්.

මම තීරණයක් ගත්තා  සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම වැසීමට. හුගක් අය කිව්වා ඉතිහාසයේ සිටම සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම  තියෙනවා. ඒ නිසා එය කරගෙන යා යුතුයි කියා. නමුත් මම ඒ ගත් තීන්දුව ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මා දැනුවත් කලා. අපේ රටේ සමාජ විරෝධී ක්‍රියා අඩුකිරීමටත්  මේ රටේ ආර්ථිකමය  හා සමාජමය වශයෙන්  පෝෂණය වීමට දහම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.

අද දහම් අධ්‍යාපනය පිළිබද නිසි දැනුමක් නැතිව ඊළග පරපුරට එය ලබා දීමට නොහැකියි. දහම් පාසැල් ගුරුවරයෙකුට වගකීමක් තියෙනවා ළමයින්ගේ අද්යාත්මික බව තවතවත් වැඩි කිරීමට දහම් අධ්‍යාපනය විධිමත්ව ලබා දීමට .

බුදු දහම බෞද්ධ සංස්කෘතිය මගෙ හදවතට ඉතාමත් කිට්ටුයි. මම මල්වතු හා අස්ගිරිය පන්සල් කේන්ද්‍ර කොට ගෙන  මහනුවර දිස්ත්‍රික්කයේ  දහම් පාසැල් ගුරුවරුන්ට  විශාල වැඩසටහනක් දියත් කලා. බුදු දහම කියන්නේ  ජීවන රටාවක් ,එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මම මුස්ලිම් භක්තිකයෙක් උනත් බුදු දහම තුල ඇති

දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම්  මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.

පොදුවේ ගත් කල මේ රටේ සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට මේ රටේ බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්ථාව ලෝකයේ කිසිදු රටක නැති බව අප දැන ගතයුතුයි.

අද මම තමුන්නාන්සේලා ඉදිරියේ  මුස්ලිම් භක්තිකයෙක් හැටියට  අද මේ කථාව පවසන්නේ මම මුස්ලිම් පවුලක උපන් නිසා. අද තමුන්නාන්සේලාගෙන් බහුතරයක් බුදුදහම අදහන්නේ. බෞද්ධ පවුලක උපන් නිසා. ඒ නිසා එසේ ආගම ධර්මය  බොහෝ අවස්ථාවලදී  උත්පත්තියෙන් ම තීන්දු වූ දෙයක්.

මේ රටට අවශ්‍ය මෛත්‍රීය කරුණාව, සහජීවනය. සියළු ජාතීන්හට ඇතුලත් කිරීමේ හැකියාව බෞද්ධ දර්ශනය තුලින් තිබෙනවා”.

DSC 1923 DSC 1816

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව ව්‍යාපෘති 03 ක්

1.ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ තවත් පාලම් 500 ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි.

2. නව පළාත් පාලන සභිකයින්ට පුහුණු අත්පොත එළිදැක්වයි.

3. දේශීය ණය සංවර්ධන අරමුදලේ ශත සංවත්සරයේදී එහි කාර්යයන් එළිදැක්වයි.

බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත දිගු කාලීන ණය ගෙවීමේ පදනම මත මෙම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ තවත් පාලම් 500 ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කිරීම නව පළාත් පාලන සභිකයින්ට පුහුණු අත්පොත එළිදැක්වීම හා දේශීය ණය සංවර්ධන අරමුදලේ සියවෙනි සංවත්සරයේදී එහි කාර්යයන් එළිදැක්වීම යන කාර්යයන් ඉකුත් 17 දින සවස කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

යෝජිත මෙම පාලම් 500 අවශ්‍යතා ප්‍රමුඛ කර ගනිමින් දීප ව්‍යාප්තව ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර බ්‍රිතාන්‍ය විසින් ලබා දෙන පාලම් 250ක් සඳහා ස්ටාලින් පවුම් මි.50 (ශ්‍රී ලංකා රු.මි.10700/-) ක් ද නෙදර්ලන්න විසින් ඉදිකරන පාලම් 250ක් සදහා යුරෝ මි.52 (ශ්‍රී ලංකා රු.මි.9700/-)ක් ද වැය කිරීමට අපේක්ෂා කෙරේ.

අදාල ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන නියෝජිතයින් පුහුණු කිරීම සඳහා පළාත් පාලනය පිළිබද ශ්‍රී ලංකා ආයතනය විසින් පැවැත් වීමට නියමිත වැඩමුළුවේ දී ලබා දෙන අත්පොත නිල වශයෙන් භාර දීම මෙහි දී සිදුවිය.

1917 දී පළාත් පාලන ආයතන සඳහාම ණය දීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන ලද දේශීය ණය සංවර්ධන අරමුදලට සියවස් සැමරුමත් සමග නව පරිච්ඡේදයක් අරඹමින් ලබා දිය හැකි ණය ප්‍රමාණය රු.මි. 1000 දක්වා වැඩිකිරීම ආරම්භ කිරීම ප්‍රකාශයට පත් කෙරිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ග්‍රාමීය පාලම් පන්සියයක ව්‍යාපෘතිය තුළින් ජනතාවට විශාල ප්‍රතිලාභයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ගමක් නගරයට සම්බන්ධ කිරීම හා ගම් දෙකක් සම්බන්ධ කිරීම තුළින් ජනතාව අතර සම්බන්ධතාව, මාර්ග පහසුකම් ඇතුළු විශාල සංවර්ධනයක් සිදු වෙනවා. ළඟදී කෑගල්ලේ යන විට මට දකින්න හැකිවූ දෙයක් තමයි ගමකින් තවත් ගමකට ගමන් කරන්න කිලෝමීටර් 7 ක් යන්න ඕන. හැබැයි මේ ග්‍රාමීය පාලම තුළින් එම දුර ප්‍රමාණය අඩු කරන්න අපිට හැකිවෙනවා. ඒ වගේම නාගරීකරණය වන අවස්ථාවකදී අපට යුතුකමක් තියෙනවා ග්‍රාමීය ජනතාවගේ සුභ සාධනය දියත් කරන්න.

එහෙම නම් අපි පළාත් පාලන ආයතන වල නියෝජිතයන්ට පුහුණු අත්පොතක් අපි ලබා දුන්නා. ඉන් බලාපොරොත්තු වන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුට පුහුණූවක් ලබා දීමයි. එය අපේ අමාත්‍යාංශයට තිබෙන යුතුකමක් හා වගකීමක් වෙනවා. පළාත් පාලන ආයතන තියෙනවා මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙලා තියෙනවා. හැබැයි ඇතැම් ආයතන දූෂණ වංචා නිසා මධ්‍යම රජයෙන් යැපෙන්න සිදුවෙලා තියෙනවා .

ඒ ඒ පළාත් පාලන ආයතනවල පාලන තන්ත්‍රය මීට වඩා ශක්තිමත් වේ යැයි මම විශ්වාස කරනවා. අපි දේශීය ණය අරමුදලින් රුපියල් මිලියන ගණනින් ණය දීලා තියෙනවා. සමහර පළාත් පාලන ආයතන බලාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් පුළුවන් තරම් යැපෙන්න. හැබැයි ලෝකයේ තියෙන ප්‍රවණතාවය වන්නේ පළාත් පාලන ආයතන මූල්‍ය කළමණාකරණය කොට දිනෙන් දින ස්වාධීන ආයතන බවට පත් වෙනවා.

ඇතැම් පළාත් පාලන ආයතන හා පළාත් සභාද ස්වාධීනත්වය ලබා දෙන්න කියන අතර අනෙක් පැත්තට ඇවිත් මූල්‍ය ආධාර බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වන්නේ පළාත් පාලන ආයතන කොම්පැණියක් වගේ වානිජ්‍ය ලෙස හිතන්න කටයුතු කරන්න පුරුදු කරන්නයි. බොහෝ පළාත් පාලන ආයතන සතුව  වටිනා ඉඩම් තියෙනවා. ඒවගේ කඩ කාමර ,නිවාස ඉදි කර ආදායම් සොයන ක්‍රමවේද තියෙනවා. නමුත් සෑමදාම මහා ආණ්ඩුවෙන් ආධාර අරගෙන කටයුතු කරන්න ඇතැම් පළාත් පාලන හැමදාම බලාපොරොත්තු වන්නේ.

දේශීය ණය අරමුදල බැංකුවක් ලෙස ශක්තිමත් අයුරින් පවත්වාගෙන යන්න අවශ්‍ය අණපනත් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපි මහා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා දේශීය ණය අරමුදල ශක්තිමත් කරනවා නම් වැඩියෙන් ණය දී පළාත් පාලන ආයතන ශක්තිමත් කොට එම ආයතන ස්වාධීන තත්ත්වයට ගෙන එන්න හැකියාව තියෙනවා. මේ වැඩ සටහන් තුන අද අපි ක්‍රියාත්මක කළා, මෙය ජනතා හිතකාමි අමාත්‍යාංශයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

කලින් අපේ අමාත්‍යාංශ්‍ය ගැන කියන විට සිහිපත් වන්නේ පළාත් පාලන හෝ පළාත් සභා ජන්ද යයි .නමුත් අද ඊට වඩා කටයුතු කෙරෙන බව කාටත් පැහැදිලියි. අපේ අමාත්‍යාංශයේ නිලධාරි පිරිස දක්ෂම පිරිස ලෙස මම දකිනවා. පළාත් පාලන මැතිවරණ සමයේ මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් විදපු පීඩනය මෙරට කිසිම අමාත්‍යාංශයක් වින්දේ නැහැ. අපිට ඊට මුහුණ දෙන්න හැකිවූයේ අපි නිතරම හරි දේ කල නිසයි. අපි කොළේ වහලා ගැහැව්වේ නැහැ. ඇත්ත කතා කළා ජනතාවට සුබදායි දෙයක් සිදු කළා.

පළාත් පාලන මැතිවරණයෙන් පසු 25% ක කාන්තා නියෝජනය තියෙනවා. අපේක්ෂකයින් අඩුම වියදමක් වැය කළ මැතිවරණය ලෙස හැදින්වෙනවා. එමෙන්ම පොලිස් වාර්තාවට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා අඩු සාමකාමීව ජන්ද ක්‍රමය වෙනස් කරන්න කියන අයට කියන්න කැමතියි. තමුන්නාන්සේලාගේ දේශපාලන පක්ෂයට ලැබෙන පංගුව ගැන හිතන්න එපා.

සුළු පක්ෂ නියෝජනයක් ඇති කරන්න සමානුපාතික ක්‍රමයක් ඇති කළා. අපි සිදුකල සෑම දෙයක්ම කළේ ජනතා සුබ සාධන වෙනුවෙන්. දේශපාලන පක්ෂය ගැන හිතලා නොවේ . මම දැක්කා ළගදී එක දේශපාලනඥයෙක් සමාව ඉල්ලනවා මේ ක්‍රමයට ජන්දය තියපු එක ගැන .හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරමක් ලබා ගෙන ඒ ජනවරමෙන් ජනාධිපතිවරයා,අගමැතිවරයා පොරොන්දුවක් දුන්නා.අපි ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කරනවා කියලා. දූෂිත මනාප ක්‍රමයෙන් ඈත්වෙනවා කියලා. මේ ක්‍රමය වෙනස් කරලා දූෂිත ක්‍රමයට ගියා නම් 2015 ජනවාරියේ ලබපු ජනවරමට කරන ලොකුම ද්‍රෝහිකම කියලා මම හිතනවා.මේ ක්‍රමට වෙනස් කරන්න හදන උදවියට ජනතාව පාඩමක් උගන්වයි කියලා.

අමාත්‍යාංශ ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා මේ අවස්ථාවටඅදහස් දක්වමින්“ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනි හා එක්සත් රාජධානි තානාපතිනි හා එක්සත් රාජධානි තානාපති නියෝජනය කරමින් එහි වෙළද ප්‍රධානියා මේ අවස්ථාවට එක් වී සිටින අතර ඉදි කිරීම් කරන එම රටවල සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් පැමිණ තියෙනවා. ග්‍රාමීය පාලම් පන්සීයක් ඉදි කිරීමේ මේ ව්‍යාපෘතියට මහා මාර්ග අමාත්‍යාංශයෙන් ඉතා විශාල සහයෝගයක් ලැබී තියෙනවා.

එම නිසා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්,පළාත් ලේකම්වරු,ඉංජිනේරුවන් එක් වී සිටිනවා. වර්තමාන රජය මෙම වැඩසටහ ආරම්භ කළේ ඉදිරි වසර දෙක තුළදී ග්‍රාමීය ප්‍රදේශවල පවත්නා ප්‍රවාහන විසදුමක් ලබා දීම සදහායි. ඇමතිතුමා අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ජා කරලා එමෙන්ම ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ජා කරලා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරලා මාස දෙකයි වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ සහයෝගයත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය නිසා මේ ගිවිසුම ඉක්මනට අත්සන් කිරීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ නිසා ඉදිරි වසර දෙක තුලදී මේ ව්‍යාපෘති අවසන් කර එහි ප්‍රතිඵල ජනතාවට පෙන්වන්න හැකිවෙනවා. ඒක තමයි අපේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය”.

මෙහිදී පාලම් පන්සීය සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පළාත් සභා ,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා හා නෙදර්ලන්තයේ හා එක්සත් රාජධානියේ අදාළ සමාගම් අතර සිදු විය.

මේ අවස්ථාවට රාජ්‍ය ඇමතිනි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මියද එක්ව සිටියාය.මෙහිදී ග්‍රාමීය පාලම් පන්සීය ගැන එම ව්‍යාපෘති සම්බන්ධීකාරක අචාර්ය මනෝමි පෙරේරා,පළාත් පාලන අත්පොත එළි දැක්වීම පිළිබඳ එම සම්පාදනය කළ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන අධ්‍යක්ෂ සුජීව සමරවීර,දේශීය ණය සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා යුගානි අමරසිංහ යන මහත්ම මහත්මීන් අදාළ විෂයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළහ.

DSC 0826 1 DSC 0788 DSC 0756
DSC 0734 DSC 0672 DSC 0698